ශනි හෙවත් සෙනසුරු සංයෝග


ශනි - රවි

ශනි - රවි සංයෝගයෙන් උපන් අය ඉතා ඉවසිලිවන්තව තම කටයුතු සිදුකරගෙන උසස්‌ තත්ත්වයට පත්වන්නෝ වෙති. ඥති මිත්‍රාදීන්ගෙන් විශාල වශයෙන් උදව් උපකාර ලබන්නෝය. ජීවිතයේ මැද භාගයට පැමිණීමත් සමග කුමන ආකාරයේ කටයුත්තක්‌ නිසා හෝ කැපී පෙනෙන ලක්‍ෂණ මතු වේ. කරන කියන සෑම දෙයක්‌ම ඉතා සැලසුම් සහගතව කල්පනාකාරීව පිළිවෙළකට කර ගැනීමේ ශක්‌තිය මතු වේ. එහෙත් සංයෝගය අශුභ රාශියක අශුභ ලෙස යෙදුනහොත් ඉහත සඳහන් කළ ප්‍රතිඵල ලැබීමේ බාධක මතුවිය හැක.

ශනි - චන්ද්‍ර

ශනි - චන්ද්‍ර සංයෝගව සිටීම යනු එකී කේන්ද්‍රය හිමි ජන්මියා ජන්ම ඒරාෂ්ඨකයෙන් උප්පත්තිය ලැබූ අයකු වේ. මෙවැන්නන්ට තම ජීවිතයේ මුල් කාලයේදී බොහෝ දුෂ්කර අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදුවනු ඇත. නීති ගරුක සෘජු අදහස්‌ ඇති මෙවැන්නෝ වයස මහුකුරා යත්ම තමන් සිටි තත්ත්වයට වඩා උසස්‌ තත්ත්වයට පත්වන ක්‍රියාශීලී පුද්ගලයෝ වෙති. වැඩිහිටි ඥතීන්ගෙන් ඉඩකඩම් යාන වාහන වැනි දායාද ලැබීමේ වාසනාව මොවුනට හිමි අතර ඒවා වැඩිදියුණු කරගැනීමේ වාසනාවද පවතී. එමෙන්ම ශනි - චන්ද්‍ර යෝගය අයහපත් ලෙස අශුභ ලෙස පිහිටියහොත් ඉහත සඳහන් කළ ශුභ පල නැති වේ.

ශනි - කුජ

මෙකී යෝගයෙන් උපන් අය ඉවසිලිවන්ත තීක්‍ෂණ බුද්ධියට හිමිකම් කියන අයවළුන් වේ. ඉවසීමේ යහගුණය හේතුවෙන් මෙවැන්නෝ යන එන සෑම තැනම හොඳ හිත හා ගෞරවය දිනාගනී. වේගවත් ලෙස ගමන් කරන ශනි ග්‍රහයාට ඉතා හෙමින් ගමන් කරන කුජ ග්‍රහයා එක්‌වීම පරස්‌පර විරෝධී හමුවක්‌ වුවත් ලෝකෝත්තර ශනි ඉදිරියේ කුජ පසුබැසීමෙන් වැඩි වශයෙන් ලෞකික දේට වඩා ලෝකෝත්තර දෙසට සිත යොමුවේ. අධ්‍යාපන කටයුතුවලට දක්‍ෂවේ. බොහෝ අවස්‌ථාවල මෙම ග්‍රහ සංයෝගය පිහිටි අයගේ විවාහය ප්‍රමාද වීමට ඉඩ ඇත. විවාහ වුවහොත් සමහර විටෙක විවාහ දිවියේ යම් යම් ගැටලු මතුවීමට ඉඩ පවතින්නේ මෙම යෝගය හත්වැන්න හා සම්බන්ධ වූ විටය. ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබීම හේතුවෙන් මෙකී අශුභ තත්ත්වය මගහරවාගත හැක.

ශනි - බුධ

ශනි ග්‍රහයාට බුධ සංයෝග වීම යනු ස්‌ථිර ප්‍රතිපත්ති ගරුක සෘජු පුද්ගලයකු බිහිකිරීමකි. ඉවසිලිමත් භාවය හා බුද්ධිමත් භාවය හේතුවෙන් සමාජයේ කැපී පෙනෙන අයකු වේ. ගණිතය ප්‍රධාන ශාස්‌ත්‍රීය කටයුතුවල අති දක්‍ෂ වීමෙන් ගණිතඥයන් හා ඉංජිනේරුවන් මෙකී යෝගයෙන් බිහිවෙති. අවංක නීතිගරුක පුද්ගලයන් වන මොවුනට ඕනෑම වගකිවයුතු කාර්යයක්‌ බියකින් තොරව බාරදිය හැකි අතර මෙකී යෝගය අයහපත් ලෙස පිහිටා ඇත්නම් බොරුකාර වංචාසහගත ලෙස අනුන් රවටමින් මුදල් උපයන දුෂ්චරිතවත් සමාජයේ අපකීර්තියට පත්වන පුද්ගලයන් බිහි වේ.

ශනි - ගුරු

ශනි - ගුරු සංයෝගය යමෙකුගේ කේන්ද්‍රයක පිහිටියේනම් එය ඉතා වාසනාවන්ත පිහිටීමක්‌ ලෙස දැක්‌විය හැකිය. අත තබන සෑම කටයුත්තක්‌ම සාර්ථක වන බැවින් දියුණුවේ උල්පතක්‌ ලෙස හැඳින්විය හැක.

කිසිදු අවස්‌ථාවක මුදල් අපහසුතා ඇති නොවේ. දේපල උරුමයන්ට හිමිකම් කියයි. ව්‍යාපාර තුළින් දියුණුවට පත්වේ. යන එන සෑම තැනකම පිළිගැනීමට ලක්‌වේ. ගෞරවයට පාත්‍රවේ. රජයේ උසස්‌ නිලතල රැකියාවන් හිමිවීමේ භාග්‍යය ඇත. ලොතරැයි ජය හා වෙනත් වාසනා හිමිවීම විශේෂ ලක්‍ෂණයකි. යම් හෙයකින් අශුභ ආකාරයට මෙම ග්‍රහ සංයෝගය පිහිටිය හොත් යහපත් ප්‍රතිඵල නොලැබේ.

ශනි - සිකුරු

ශනි - සිකුරු සංයෝගයද යහපත් සංයෝගයකි. සෘජු ප්‍රතිපත්ති ස්‌ථිර අදහස්‌ ඇති විශ්වාසවන්ත ගෞරවනීය අයකුවේ. යහපත් හා සාධාරණ අන්දමින් මුදල් උපයා පියවරෙන් පියවර ක්‍රමානුකූලව දියුණුව කරා ළඟාවෙති. සැපවත්, යහපත් විවාහයකට උරුමකම් කියයි. විවාහය කල්පසුවීමේ ඉඩකඩ තිබුණත් යුගදිවිය ඉතාමත් වාසනාවන්ත වේ. කුජ - සිකුරු එකට සිටීමෙන් කෙනෙකුගේ විවාහය ඉක්‌මන් කරනවා මෙන්ම ශනි - සිකුරු එකට සිටීම විවාහය ප්‍රමාද කිරීමට හේතුවේ.

ශනි - රාහු

ශනි රාහු යන ග්‍රහයන් සංයෝග වූ විට නිතර අයහපත් ප්‍රතිඵල අත්වේ. කෝලාහලද සිතේ පීඩාද ශරීරාබාධද මනස්‌තාපයද පුත්‍ර දොaෂද ධන හානිද ඇතිකරයි. රෝග වශයෙන් ගත්කල ස්‌නායු රෝග, අංශබාගය හා වම්පාදයේ ආබාධ ඇතිකරයි. මෙකී පුද්ගලයන්ගේ වගා කටයුතුද නිතර විනාශයට ලක්‌වේ. ඉගෙනීමේ යෙදෙන්නන්ගේ ඒ පිළිබඳ උනන්දුව අඩුවී අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ. සතුරු පීඩා ඇතිකරයි. අන්‍යයන්ගේ ඊර්ෂ්‍යා සහගත ක්‍රියාවන්ට නිතර ලක්‌වේ. අනතුරු පීඩාවලින් බොහෝ ප්‍රවේශම් විය යුතුය. රහසිගත ගමන් වලට මඟපෑදේ. මෙම යෝගය යම් හෙයකින් කේන්ද්‍රගත 7 කොටුවේ පිහිටියොත් විවාහය අවුල්සහගත වේ. තනිවම ජීවත්වීමට පොළඹවන අවස්‌ථා බොහෝය.

ශනි - කේතු

ශනි - කේතු සංයෝගයද ජන්මීන්ට අසුබඵල උදාකරන සංයෝගයකි. එහෙත් අධ්‍යාපන කටයුතු වලට තරමක්‌ සුබවේ. එක තැනක නොරැඳී ඇවිදිමින් කරන රැකියා ලැබීමට හේතුවේ. විදේශගත රැකියාවලින් යහපත් ප්‍රතිඵල ලැබීමේ අවස්‌ථා උදාවේ. ශනි කේතු විවාහයට සුබ නොවන සංයෝගයකි. එබැවින් එවැනි සංයෝග ඇති අය ඒ පිළිබඳ බොහෝ කල්පනාකාරී විය යුතුය. ස්‌නායු ගත රෝග සමේ රෝග අත්වල රෝග හා ශරීරය කෘෂ කරන රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිය. අප්‍රසිද්ධව ලාභ ලැබීමට මෙකී යෝගය ඉවහල් වන අතර තමාගේ කටයුතු තමා විසින්ම කරගත යුතු අතර අන් අයගේ උදව් උපකාර ලැබීම් හිඟවේ.

Comments

Post a Comment