බෞද්ධ සමාජ විද්‍යාත්මක චින්තනය
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරතයේ ආරම්භ වූ බුදු දහම ලෝකයේ ප්‍රධාන ආගම් අතරට එක්ව ඇත. ගෞතම බුදුරදුන් විසින් දේශිත ධර්මය සංගීතිකාරක භික්ෂූන් වහන්සේලා විසින් සූත්‍ර විනය සහ අභිධර්ම වශයෙන් නම් කොට එය ත්‍රිපිටකය තුළට අන්තර්ගත කරන ලදි. එසේ සංගෘහිත වූ බුද්ධ ධර්මය නූතනය දක්වා පැවත එයි. මෙම දහමේ පරමාර්ථය පුද්ගලයා සසර දුකින් මුදවා විමුක්තිය ලබා දීමයි. සමාජ ජීවිතය සැපවත් කර ගැනීමට හේතුවන ලෞකිකවාදී ධර්ම කරුණු ද මෙහි අඩංගුය.
බුදු දහම මූලික වශයෙන් දාර්ශනික ස්වභාවයක් පෙන්නුම් කළ ද එහි සමාජ විද්‍යාත්මක පසුබිමක් ද හඳුනාගත හැකි වේ. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ඇතුළු ශ්‍රී ලාංකික සමාජ විද්‍යාඥයන්ද බුදු දහමේ සමාජ විද්‍යාත්මක චින්තනය විග්‍රහ කර තිබේ. සූත්‍ර පිටකය තුළ සමාජ සම්බන්ධතා, සමාජ සංස්ථා, සමාජානුයෝජනය, සමාජ ස්ථර, සමාජ සමූහ, සමාජ ගැටලු සහ සමාජ අධ්‍යයන ක්‍රම ආදී සංකල්පීය සමාජ විද්‍යාත්මක මූලධර්ම හැඳිනගත හැකිය. විනය පිටකයට අනුව ද නෛතික පාලනය, අපරාධ, දඬුවම්, සාමූහික ජීවිතය හා සම්බන්ධ චර්යා ධර්ම ආදී සමාජ විද්‍යාත්මක මූලධර්ම එහි අඩංගුය. සූත්‍ර පිටකයේ දක්නට ලැබෙන මංගල, පරාභව, සිඟාලෝවාද, වසල, ධම්මික, චක්කවත්තී සිහනාද, අග්ගඤ්ඤ, කූටදන්ත ආදී සූත්‍ර දේශනා තුළ සමාජ විද්‍යාත්මක මූලධර්ම ඇතුලත් වේ. විනය පිටකයේ සංග්‍රහ කොට ඇති පාරාජිකා, සංඝාදිසේස, අනියත ආදී විනය නීති තුළද නෛතික පාලනය අපරාධ දඬුවම් ආදී සමාජ විද්‍යා මූලධර්ම අන්තර්ගත වෙයි.
බුදුදහම සමාජ සම්බන්ධතා පිළිබඳව දක්වන ආකල්පය කෙබඳු ද යන්න තේරුම් ගැනීමට සිඟාලෝවාද සූත්‍රය වැදගත් වේ. මෙහි අන්තර්ගත පුද්ගල සම්බන්ධතා සමස්ත සමාජ ජීවිතය සමඟ සම්බන්ධ කොට ඇත. යුතුකම් වගකීම් හා අයිතිවාසිකම් පදනම් කොටගත් සදිසා නමස්කාරය නමින් මෙම සමාජය අන්තර් සම්බන්ධතා දක්වා තිබේ.
දෙමාපිය දූ දරු සම්බන්ධය - නැගෙනහිර
ගුරු ශිෂ්‍ය සම්බන්ධය - දකුණ
අඹු සැමි සම්බන්ධය - බටහිර
මිත්‍ර සම්බන්ධය - උතුර
ගිහි පැවිදි සම්බන්ධය - උඩ
ස්වාමි-සේවක සම්බන්ධය - යට
සමාජ සම්බන්ධතා සම්බන්ධව සිඟාලෝවාද සූත්‍රය මෙවන් උපමාවක් දක්වයි. කරත්ත රෝදයේ කඩ ඇණ තිබෙන තාක් කරත්තය ගමන් කළ හැක්කේ යම් සේද මෙම සමාජ සම්බන්ධතා යහපත්ව පවතින තුරු සමාජය මැනවින් පවත්වාගෙන යාහැකි බව එහි දක්වයි. ඒ ඒ සමාජ කොටස්වලට අයත් යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙන් සමාජ යහපැවැත්ම තහවුරු වන බව එහි පැහැදිලිව දක්වා ඇත. සමාජ පැවැත්ම උදෙසා සමාජ සාරධර්ම වල වැදගත්කම බුදු දහම දකී. එය වසල පරාභව මංගල ආදි සූත්‍ර වලින් ඉස්මතු කර ඇත. සමානාත්මතාවය දෙමාපිය වැඩිහිටි ගුරු දෙගුරුන්ට සැලකීම අපරාධ හා අපචාර කටයුතු වලින් ඉවත් වීම නිවැරදි රැකියා කිරීම ආදී සමාජ සාරධර්ම රැසක් පෙන්වා දෙයි. විශේෂයෙන්ම පරාභව සූත්‍රයෙන් ප්‍රතිමාන විරහිත වීම නිසා සමාජය බිඳ වැටීමට හේතු වන බව දක්වයි.
බුදු දහමේ වැදගත් සමාජ විද්‍යාත්මක සංකල්පයක් ලෙස සමාජානුයෝජනය (socialization) දැක්විය හැකිය. බෞද්ධ සාහිත්‍යයේ එන ජාතක කතා ද මේ බව මැනවින් විග්‍රහ කරයි. සත්තිකුම්බ ජාතකය තුළින් විවිධ ආශ්‍රයන් පිළිබඳ සමාජ විද්‍යාත්මක සංකල්පය ඉස්මතු කරයි. ගේ ආශ්‍රය නිසා ගිරා පැටවා සංවර වීම සංවර වීම ද සොරුන්ගේ ආශ්‍රය නිසා ගිරා පැටවා ආක්‍රමණශීලී වීම ද තුළින් ප්‍රකට වන්නේ සමාජ සමාජානුයෝජන ක්‍රියාවලිය විවිධ පෞරුෂය හැඩගැසීමට හේතුවන බවයි.
කෘත්‍ය වාදය (action theory) ද බෞද්ධ සමාජ විද්‍යාත්මක මූලධර්මයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රියාවට ලබා දෙන අර්ථකථනය අනුව බුදු දහම ක්‍රියාවෙ ස්ස්වරූපය විග්‍රහ කරයි. "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" යන සංකල්පය තුළින් ඒ බව පැහැදිලි වේ. සමාජ විද්‍යාඥයන්ද සමාජ ක්‍රියාව (social action) අර්ථකථනය කරනු ලබන්නේ ද ක්‍රියාකාරිකයා ක්‍රියාවට දෙන අර්ථය අනුවය. ක්‍රියාකාරිකයා නිරතුරුවම තම ක්‍රියාවට අර්ථය දිය යුත්තේ තමන් හා අනුන් යන සාධකය මුල්කරගෙන බව රාහුලෝවාද රාහුලොවාද සූත්‍රයේ සඳහන් වේ. එයින් පැහැදිලි වන්නේ පුද්ගලයා තමා හා සමාජ සම්බන්ධව තීරණ ගැනීමේදී ප්‍රතිජානාත්මක තීරණ ගත යුතු බවයි.
බෞද්ධ පංචශීල ප්‍රතිපත්තිය ද සමාජ විද්‍යාත්මක අගයකින් යුක්තය එමගින් පැහැදිලිවන්නේ සමාජය විසින් වැළකිය යුතු යැයි නිර්දේශ කර ඇති නීති පහකි.
ප්‍රාණඝාතයෙන් වැළකීම - මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවගේ ජීවත්වීමේ අයිතිය.
නොදුන් දෙය ගැනීමෙන් වැළකීම - සියල්ලන් ගේ වස්තුව දේපල පිලිබද පුද්ගල අයිතිය තහවුරු කිරීම.
කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීම - පුද්ගලයාගේ විවාහ ජීවිතය හා සමාජ සදාචාරය රැකීමේ අයිතිය.
මුසාවාදයෙන් වැළකීම - සත්‍යවාදී සන්නිවේදන අයිතිය
සුරා පානයෙන් වැළකීම - පුද්ගල හා සමාජ සෞඛ්‍ය රැකීමේ අයිතිය.
ඉහත සඳහන් පංචශීල ප්‍රතිපත්තිය ද සමාජ පාලනය පිළිබඳ මූලධර්මයක් ලෙස ද සැලකිය හැකි ය. සමාජ පාලනය උදෙසා සමාජ සාරධර්ම පද්ධතියක් ලෙස බෞද්ධ සීලමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙයි. අනිත්‍ය සංකල්පය ද බුදු දහමේ වැදගත් සමාජ විද්‍යාත්මක මූලධර්මයකි. ලොව සියල්ල වෙනස් වේ යන අදහස එමගින් ඉස්මතු කරයි. සමාජ විද්‍යාඥයන්ට අනුව ද වෙනස් වීම පිළිගනී. බුදු දහම තමා ඇතුළු ලොව සියල්ල වෙනස් වීම සම්බන්ධව පෙන්වා දෙනු ලබන්නේ වෙනස් වන ලෝකය තුළ උපේක්ෂාවෙන් යුක්තව ජීවත් විය යුතු බවයි. එමගින්ම සමාජ සදාචාරය ද රැකිය යුතුය සමාජ ස්ථරායනය සම්බන්ධව බුදු දහම වැදගත් අදහසක් දක්වා ඇත. ආරෝපිත තත්වය (Ascribe status) මත පුද්ගල තත්ත්ව ගරුත්ව මිනුම් නොකළ යුතු බවයි. එනම් කුලය, ජාතිය, ස්ත්‍රී පුරුෂ ආදී ආරෝපිත තත්ත්වයන් තුළ සමාජ ස්ථර ගත නොකළ යුතු බවයි. සාධිත තත්වය (achieved status) මත සමාජ තත්වය හා ගරුත්වය මිනුම් කළ යුතු වේ. එනම් ගුණධර්ම හා බාහිර කුසලතා වර්ධනයෙන් ලබා ගන්නා දේවල් වෙයි.
Good article
ReplyDelete