ජ්‍යොතිෂ ශාස්ත්‍රය
ජ්‍යොතිර් විද්‍යාව යනු විශ්වය පුරා විසිරී පැතිරී ඇති ග්‍රහ තාරකාවන්ගේ සාපේක්ෂ පිහිටීම සහ ග්‍රහ බලය ශක්යතාව උපයෝගී කර ගනිමින් මිනිස් ජීවිතය විශ්ලේෂණය කෙරෙන ලෝකයේ පෞරාණික ශාස්ත්‍රයකි. යම් රටක, යම් ජාතික, යම් ආගමක හෝ ඕනෑම අයෙකුට සැපවත් ලෙස ලෞකික ජීවිතය ගෙන යාමට හා හෙට දවස කල් ඇතිව දැන ගැනීමට ද බොහෝ උපකාරයක් ජ්‍යොතිර් ශාස්ත්‍ර තුළින් ලැබේ. ජ්‍යොතිෂය, ජෝතිෂ විද්‍යාව, නැකත් ශාස්ත්‍රය, හෝරා ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය යනාදී නම්වලින් හඳුන්වයි. ජ්‍යොතිර් විද්‍යාව අතීතයේ සිටම ලංකාවේ භාවිත කළ බවට සාධක ඇත. ඒ පිළිබඳව පැරණිතම සටහන වන්නේ උම්මාද චිත්‍රා කතා පුවතයි. උන්මාද චිත්‍රාව දුටු නිමිත්ත පාඨකයන් විසින් ඇයගේ පුතෙක් රාජ්‍ය පතා සිය මාමාවරුන් ඝාතනය කරන බව පවසා ඇත. එය ඇසූ ඇයගේ සහෝදරයෝ එවැනි තත්ත්වයක් උදා නොවීමට සියලු බාධක යෙදූහ. රැකවරණ සැලසූහ. ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක බවට පත් කරමින් අවසානයේ දී නිමිත්ත පාඨකයන්ගේ අනාවැකි යථාර්තයක් බවට පත් කරමින් පණ්ඩුකාභය සිය මාමාවරුන් මරා දමා සිහසුන අත්කර ගන්නට සමත් විය. බුදුන්වහන්සේ ජ්‍යොතිෂය තිරශ්චීන විද්‍යාවක් ලෙස සලකා අතහැර දැමීමට අනුදැන වදාළහ යනුවෙන් තර්ක කරති. ඔවුන් දක්වන අන්දමට
නක්ඛත්තං පතිමානෙන්තං
බාලං අත්ථෝ උප්ප්ච්චගා
අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා
නැකත් ගැන සිතමින් වැඩ කල්දැමීම බාලයාගේ සිරිතයි. වැඩක් පටන් ගන්නා වෙලාවට වැඩයට නැකතයි. ඒ නිසා තාරකා කුමක් කරත් ද යන්නයි. එසේ නැකත් වලට වහල් විය යුතු නොවේ කීමෙන් ජ්‍යෝතිෂය බුදුදහම ප්‍රතික්ෂේප කළා යැයි කිව හැකිද? ඇතැම් අලස මිනිසුන් තම උත්සාහයෙන් කටයුතු සම්පාදනය කර ගැනීමට උත්සාහ නොකරති. තම වගකීම් යුතුකම් හා උත්සාහය පැහැරහැර නැකත් බලයට සියල්ල පවරා අපල අපල ගෙවෙන තුරු යැයි අලසව කල් ගෙවති. ජ්‍යොතිෂයට අනුව එකක්ද පෙනෙන දුර්විපාක ආදිය මැඩලිය නොහැකි යැයි වරදවා සිතති. හොඳ කලක් එනතුරු තම කටයුතු කල් දමන්නේ හුදෙක් අලසකම නිසාය. ඔවුහු එම නිසා එවැනි අලස පුද්ගලයින් සම්බන්ධව ජාතක පොත එසේ දක්වා ඇත. නමුත් භික්ෂූන් විසින් නැකත් පිළිබඳ සියල්ල හෝ එක කොටසක් හෝ දැන සිටිය යුතු යැයි විනය පිටකයේ සඳහන් වේ.
නක්ඛත්තපදානි උග්ගහේතබ්බානි සකලානි වා ඒක දේසානිවා
ගිරා සන්දේශ කතුවරයා හා සැළලිහිණි සන්දේශ කතුවරයා තම අභිමතාර්ථය මුදුන් පත් කර ගැනීම සඳහා තම දූතයන් වූ ගිරවාත් සැලළිහිණියාත් පිටත් කර හැරියේ සුභ මුහුර්තයකිනි ඒ බව
පොරණ රුසින් කී තොප යතුරට පවර
ලද නිදොසින් රිවිදින නැකත දිනකර
කුමරි දෙසින් කිවි සුරගුරු සිටි නොහැර
මිතුර තොසින් වඩු සිහිකර මෙත් සුතුර
යනුවෙන් ගිරා සන්දේශයේ 57 වෙනි කවියෙන් පැහැදිලි වේ. එසේම සැළලිහිණි සන්දේශයේ
උදේ සැපත් සුරගුරු අලු කරැ අවට
සඳේ මුදුන් පත අස්විද නැකතැ සිට
නදේ සිතින් තම කුල දෙවිය සිහි කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට
මේ අනුව සැලළිහිණියා පිටත් කර හැරීමට ගුරු උච්ච බලයෙන් යුතුව ලක්නයට කටකය යොදා සඳුගෙන් හතරවැන්නේ ගුරු සිටින ලෙස සඳු දහවැන්නට යොදා සැළලිහිණියා කෝට්ටේ නගරයෙන් සුභ ගමනක් සඳහා පිටත් කර හැරිය බව ඉහත සඳහන් කවියෙන් පැහැදිලි වේ. සැළලිහිණියා යැවූ දූත මෙහෙවර සම්පූර්ණයෙන් සාර්ථක වූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත.
-පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි-
ඉතා වැදගත් ලිපියකි..
ReplyDeleteනියමයි
ReplyDelete